ටුක් ටුක්

හවස පහ හමාර හයට විතර අපි කහට කෝප්පයක් බොන්නේ හරියට දවසේ වැඩ එතනින් ඉවරයි කියන්න වගේ.

මගෙ කොන්තරක් වැඩ මට ඕනැ විදිහට සකස්කරගන්න පුලුවන් නිසා මට මේ තේ වෙලාවෙන් කියවෙන්නේ ගේ පිටිපස්සේ එලවලු පාත්තිවල වැඩ නවත්තල අත පය සෝදා ගන්න වෙලාව හොඳ බවයි. කමලා ඉස්කෝලේ ඇරිලා තුන වෙනකොට ගෙදර. එයා පැය බාගයක් හාන්සිවෙලා ඉඳලයි ඉස්කෝලේ වැඩ ගැන ආයෙත් බලන්නේ - රෑ කෑම වැනි ගෙදර වැඩ තේ එකෙන් පස්සෙයි. ඒ වෙලාව වෙනකොට දුව කොහොමටත් ගෙදර ඇවිත්. පුතත් එයාම හදාගත්ත වෙන රාජකාරියක් නැත්නම් මේ වෙලාවට ගෙදර ඇවිත්.

සාමන්යෙන් අපි හතරදෙනා විතරක් මේ තේ චාරිත්රයට සහභාගි උනත් අද එහා ගෙදර කුරුප්පුලත් හිටියා, මට වඩා ටිකක් වැඩිමල් උනත් නිස්සංකයි චම්පයි අපිත් එක්ක කුලුපගයි. දෙන්නගෙ එකම පුතා පිටරට ඉන්න නිසා දෙන්නා අපෙ දරුවන්ටත් ආදරෙයි, විශේෂයෙන්ම සිරිනිට.

“මොකද නිලංත තවම නැත්තේ - කොහෙවත් ගිහින්ද?”

“නෑ ආන්ටී, අයියා කිව්වා ටිකක් වෙලායයි කියලා - මොකක්ද මීටිමක්”

“මොන පිස්සුද චම්පා - අද සිකුරාදත් එක්ක නිසා යාලුවොත් එක්ක ටවුමේ අර … අර … ඔරෙන්ජ් බාර්ලී … එහෙම බොනවා ඇති!”

මගෙ කතාවට කුරුප්පුලා දෙන්නට හිනා ගියා. නමුත් කමලා හිතුවෙ නෑ ඒක විහිලුවක් කියලා.

“මම නම් කැමති නෑ ඔය එක එක තැන්වල ගිහින් බීර බොනවට”

“අපි කොහොමද කමලා ඕවට මොකවත් කියන්නේ? දැන් නිලංත වැඩිහිටියෙක් නේ - චංදෙත් දෙනවා, කාරුත් එලවනවා, ඉඳලා හිටලා බීර වීදුරුවකුත් බොනවා ඇති!”

“මාත් මේ බලාගෙන ඉන්නේ අයියා වගේ ටවුමේ බොන්න පුලුවන් වෙන්නේ කවදද කියලා! නියමයි ඉස්කෝලේ ඇරිලා, බ්ලූ ස්ටා එකෙන් බීර බීලා ගෙදර එන්න තියෙනවානම්!”

සිරිනිට ගානක් නෑ පවුලේ කට්ටිය ඇරුනුකොට අනික් අයත් ඉන්නවා කියලා. කුරුප්පුලට හිනා ගියාට කමලා විතරයි කතාකලේ.

“එහෙනම් මේ ගෙදර නෙවෙයි එන්නේ!”

නිලංත ආවේ ඒ වෙලාවෙයි. පොත් මල්ල කාමරේ ඇඳ උඩට විසි කරලා කෑම කාමරේට ආවේ කමිසේ බොත්තම් ගලව ගලවයි. අමුත්තෝ දැකපු ගමන් ආයෙත් බොත්තම් දාන ගමන් පුටුවකට පාත්උනා.

“හා අන්කල් … ආන්ටි… අම්මා තව තේ තියෙනවද?”

“අපි බැලුවා මොකද නිලංත වෙලා ගියේ කියලා”

“නෑ ආන්ටී අර මීටිමක් තිබුනා….. ඒකම නෙවෙයි වෙලා ගියේ - අර ඇමතියෙක්ද කොහෙද ඇවිත් ටවුම බ්ලොක් වෙලා”

“කවුද?”

“කවුද කියලා දන්නෙ නෑ හැබැයි පාරවල් එහෙමත් වහලා - වැදගත් එකෙක් වෙන්න ඇති. හැබැ මෙච්චරවත් ඉක්මනට ආවේ මාර ටුක් ටුක් කාරයෙක් හම්බවුන නිසා!”

“සමහර ටුක් ටුක් කාරයෝ මාරයි කියන්නේ ඇත්තටම මාරයට කිට්ටු නිසා”

නිස්සංකගෙ අදහසට කමලා හවුල්වුනා.

“සමහර ටුක් ටුක් යන විදිහට ඇඟේ ලේ නෑ!”

“අම්මා මේ පොර කොහෙන් එලවන්න ඉගෙනගත්තද මංදා - ජජ්මන්ට් නියමයි! සමහර වෙලාවට මට දැනුනේ අපි රිංගපු ගැප්ස් වාහනේටත් වැඩිය පොඩියි කියලා!”

“තුනුරුවන් සරනෙන් ආවනෙ කරදරක් නැතුව!”

“ඔවු අප්පා”

“මට පුදුම වුනේ මම නොම්බරේ කියන්නත් ඉස්සර මිනිහා ගෙදර ලඟ නැවැත්තුවේ!”

“මීට ඉස්සර ඇවිත් ඇති මෙහෙ”

කමලා ටිකක් වෙලා කල්පනාවෙන් නිලංත දිහා බලාගෙන හිටියා.

“කොල පාට වාහනයක්ද? සිංහ කොඩියක් ගහපු? ටිකක් තරුන කෙට්ටු ඩ්රයිවරයෙක්?”

“ඔවු කොලපාටයි. කොඩියකුත් තිබුනා තමයි! ඩ්රයිවරයා මතක නෑ හැබැයි මාර කොලපාට කොටු කොටු කැප් එකක් දාගෙන හිටියා!”

“හරියටම හරි! මතකද මම සඳුදා ගුරු මංඩලේ මීටිමට පස්සේ ආපු ත්රී වීල් එක. මං හිතන්නේ ඒකම තමයි!”

“ඒකයි මිනිහා ගෙදර දන්නේ… “

“නෑ අප්පච්චී… වෙන්න බෑ. මිනිහා කොහොමද මාව හඳුනන්නේ නමවත් නොකියා!”

“ඕක ඒ තරම් අභිරහසක් කරගන්නෙ ඕන නෑ. මිනිහා මේ පලාතේ කෙනෙක් වෙන්න ඇති!”

“තියෙන එකම අභිරහස අද ආපු ඇමතියා කවුද කියන එකයි”

නිස්සංකගෙ ඒ කතාවෙන් ටුක් ටුක් අමතක වෙලා කතාව දේශපාලනේට හැරුනා කුරුප්පුලා ගෙදර යන්න පිටත් වෙනකම්.

ආයෙත් මේ මාතෘකාව මතුවුනේ අපි නිදාගන්න ගිය වෙලාවෙයි.

“අනේ මටනම් මොකද්ද වගේ අර ටුක් ටුක් ඩ්රයිවරයගෙ කතාව. කොහොමද මිනිහා දන්නේ නිලංත මගෙ පුතා කියලා?”

“ඔයා ඒකේ ආපුවෙලේ නිලංත ගේ ඉස්සරහවත් හිටියද?”

මම එහෙම ඇහුවේ කමලා තව තවත් මේක ගැන හිතන එක නවත්තන්න මිස එහෙම වෙන්න ඇති කියලා හිතලා නෙවෙයි.

“අනේ මංදා. … පොඩ්ඩන්ට ටිකක් පරෙස්සම් වෙන්න කියන්න ඕන”

…………………………….

කමලා උදේ කෑම වෙලාවෙයි ගෙදර අය ඇමතුවේ.

“මට කාරනා දෙකක් කියන්න තියෙනවා සෙනසුරාදා උදේ නිසා සේරම එක එක දිහා දුවන්න ඉස්සර. පලවෙනි එක - අද අබේ මාමා එනවා රැයක් ඉන්න. ඒ නිසා රෑ කෑමට වෙලාවට ඉන්න ඕන; නිලංත විශේෂයෙන් මතක තියාගන්ට වටිනවා!... අනික, එහෙ මෙහෙ යනකොට ටිකක් පරෙස්සම් වෙන්ට, වැඩිපුරම ටුක් ටුක් වල යනවනම්… මගෙ හිතට හරි නෑ අර ඊයේ කියපු කොලපාට වාහනේ පුතා මෙහෙ ඉන්නේ කියලා දැනගත්ත එකට…”

අපෙ පුතයි දුවයි වචනයක්වත් කිව්වෙ නෑ - දෙමව්පියන්ගෙ අවවාද අහන දරුවෝ වැඩි කොටසක් වගේ. ඒ නිසාම මමත් වචනයක් ඉදිරිපත් කලා.

“ටුක් ටුක් කතාවට මමත් එකඟයි - මේ දවස්වල හැම එකාම ටුක් ටුක් එලවනවා; බස් එකේ යනවනම් හොඳයි…”

“හරි හරී…. අපිට ඇහුනා පලවෙනි සැරේම!”

පුතාට දැන් හිතෙනවා ඇති අපරාදේ ඔය කතාව ඊයේ ඇදගත්තේ කියලා.

“මාමා මොකද තනියම ටවුම පැත්තේ එන්න හිතුවේ?”

“අර ගෙදරක ප්ලෑනක් ගැන කාටදෝ කතා කරන්න. දැන් තනියම යන එකේ ප්රශ්නයක් නෑ නේ - සුනිලයියා ඉන්න නිසා”

“ඒකනම් ඇත්ත තමයි. අයියා ඉන්න එක මාමටයි නැන්දටයි දෙන්නටම හයියක්…. කීයට විතරද මාමා එනවා කිව්වේ?”

“හවස්වෙයි කිව්වා. උදේ සුනිලයියගෙ අලුත් ගෙපල කපන එක බලන්ට තියෙනවලු”

“ඒ කියන්නේ අයියා අලුත් ගෙදරක් හදාගන්ට තීරනේ කරලා වගේ… අනේ හොඳයි!”

“බලමුකෝ එයා ගාල්ලේ ගිහින් ආවම - එහෙ ගෙදර විකුනන්න දැම්මොත් ගමේ එකක් හදයි”

………………….

මාමා එනකොට හවස හය පහුවුනා විතරයි. පුරුදු විදිහට තේ එක බීලා මාමා ඇඟ සෝදාගන්න ගියා.

“මාමා ටිකක් කතාව අඩුයි නේද අද? ගමේ කරදරයක්ද දන්නෙ නෑ”

කමලට තේරිලා මාමගෙ නිශ්ශබ්දතාවය.

“ඒකනම් ඇත්ත … වෙනදා වගේ පොඩ්ඩෝ එක්කවත් මොනවත් කිව්වෙ නෑ”

“ලොකුඅත්තට මහන්සි ඇති … ඇඟ සෝද ගත්තම කතා කරයි මෝලෙට කපු තිබ්බා වගේ!”

“ශ්… එහෙම කියන්න එපා දුව - ලොකුඅත්තගෙ හිතේ මොකවත් ඇති … මං කතා කරලා බලනම්”

”බීර බිබීද අරක්කු බිබීද?”

මෙහෙම කියලාසිරිනී කාමරෙන් එලියට දිව්වා, මම මොනවත් විසිකරන්න ඉස්සර. නමුත් දුව කිව්වා වගේ මම මාමා කන්තෝරු කාමරේට එක්ක ගියා කෑමට ඉස්සර පොඩි ඩ්රින්ක් එකක් දෙන්න.

“මොකද මාමා අද වැඩිය සද්දයක් නැත්තේ?”

මම මෙහෙම ඇහුවේ බීම උගුරු දෙකක් ගත්තැන් පස්සෙයි.

“සොරි පුතා - මං හිතලා මතලා කට වහගෙන හිටියෙ නෑ … අනේ මංදා පුතා - පොඩි පහේ කරදරයක් හැදීගෙන එනවා වගේ…,”

“මොකද ඇඟට අමාරුවක්ද?”

“නෑ නෑ … එහෙම එකක් නෑ. අර අප්පුහාමී සම්බන්ද එකක්”

“මොකද්ද? අප්පුහාමියා ආයෙත් මොනවාහරි මරිකමක් කරලද? ලඟදී හම්බවුනාද පොරවල්”

“ඔවු… දවසක් පුතයි මමයි බෝක්කුව ලඟට ගිහින් හම්බවුනා. ඌ පුතාට කතාකලේ කාලයක් හඳුනාගෙන හිටියා වගේ - මගෙ හිත කියවලාද කොහෙද!”

“අයියා මොකද හිතුවේ අපෙ දෙයියෝ ගැන? දැන්වත් විස්වාස කරනවද?”

මාමා හිනා වුනේ නෑ.

“අප්පුහාමිටත් මට වගේම ප්රශ්න!”

“ඒ මොකද?”

“අප්පුහාමිගෙ බෑනා පැනලා ගිහින්!”

“ඌ පැනලා ගිහින්! මට හම්බවෙලා නෑ පොර. ඒත් ඌ පැනලා ගියා කියලා අපිට මොකද? අනික අප්පුහාමී දෙයියෙක් නේ - එයාට පුලුවන් ඇතිනේ බෑනා සොයාගන්න!”

“බෑනත් දෙයියෙක් නිසා හොඳට හැන්ගෙන්නත් පුලුවන් ඇති … මගෙ හිතේ බෑනා නහයට අහන්නෙ නැති එකෙක් නිසා ගමෙන් පිට අයටත් වින කරයි කියලා - විශේෂයෙන්, ඒ ගමෙන් ආපු, එහෙදී හඳුනන අයට. වෙන විදිහකට කියනවානම් පුතාලට!”

“අපිට? අපි මොන වැරැද්දක් කරලද? අනික මං විතරයි අප්පුහාමී දන්නේ, පවුලේ අනික් අය දන්නෙ නෑ. තව බැලුවොත් මම ඔය බෑනා කියන එකා හම්බවෙලත් නෑ!”

අපි දෙන්නා සද්ද නැතුව තව බීම උගුර බැගින් ගත්තා. දෙන්නටම තේරෙනවා අපි ගැන සොයාගන්න දෙවි කෙනෙකුට අමාරු වෙන්නෙ නැති බව. ඒ වගේම අපිට අප්පුහාමි වගේ දෙවි කෙනෙක් සොයාගන්න එක අමාරුයි - ඒ අයට ඕනෑම හැඩයක් ගන්න හැකි නිසා. නමුත් මේ වගේ දේ ගැන වැඩි දුර හිතන්න පිරියක් නෑ. අපි ඊලඟ උගුර බිව්වේ කතාවක් නැතුව.

“කවද්ද ඔය අප්පුහාමිගෙ බෑනා පැනලා ගියා කියන්නේ?”

“මට හිතෙන්නේ ගිය ඉරිදා කියලා - දැන් සතියකට කිට්ටුයි”

දෙයියන්ට අපි සොයාගන්න සතියක කාලයක් තිබුනා. තවම මොකුත් වෙලා නැත්තේ එයා ගිහින් තියෙන්නේ වෙන කොහෙ හරි නිසා වෙන්න ඇති. ඒක හිතට හොඳයි. මේ සතියේ කිසිම අමුතු දෙයක් නොවුනේ ……

“මාමා බස් එකෙන් බැහැලා මෙහෙ ආවේ කොහොමද?”

“අර පුතා දන්න මිනිහෙක්ගෙ ත්රී වීල් එක්ක. ඇයි?”

“කවුද මිනිහා?”

“හරියටම කියන්න බෑ…. මම බස් එකෙන් බහිනකොටම මිනිහා මට කතාකලේ … ‘ඉස්කෝලේ මහත්තයා පුතාලගෙ ගෙදරද යන්නේ?’ කියලා ඇහුවා. මම ඔවු කිව්වට පස්සේ මාවත් දාගෙන මෙතෙන ගෙනත් බැස්සුවා - සල්ලි ගත්තෙත් නෑ! හොඳ මනුස්සයා! හැබැයි පුතාව හොඳට දන්න නිසා මට මිනිහගෙ නම අහන්නත් මොකද්දෝ වගේ!”

මම ටිකක් හිතුවා.

“කොල පාට වාහනේද කොඩියක් එහෙම ගහපු? කොලපාට තොප්පියක් දාපු මිනිහද එලෙව්වේ?”

“ඔවු - අපි හොඳට දන්න කෙනෙක්! ලොක්කා ගැනත් ඇහුවා - ගාල්ලෙන් ආපු මහත්තයා කොහොමද කියලා!”

……………….

සෙනසුරාදා උදේ මාමයි මමයි ටවුමට ගියේ ගෙවල පලෑන් අඳින මිනිහෙක් හමුවෙන්නයි. අඩුගානේ ඒක තමා මම කමලට කිව්වේ.

කාරෙක එලියට නොගෙන අපි දෙන්නා පාරට බැස්සේ අපෙ ටුක් ටුක් එකේ යන්නයි. හිතුවා වගේම පාරට බැහැලා විනාඩියක් යනකොට කොලපාට වාහනේ ආවා. අපි දෙන්නා ඒකට නැග්ගේ වචනයක් වත් නොකියයි. ටවුම කිට්ටුව මම ඩ්රයිවර්ට කතා කලා.

“ඔබතුමාට මම මොකක් කියලද අමතන්නේ?”

“එනිතිං බොස්!”

“මුදියන්සේ?”

“… අ .. අ … මයිකල් කියලා බැරිද? මම ටවුමේ හැදුනේ - ගමේ නම් අල්ලන්නෙ නෑ!”

“හොඳයි ‘මයිකල්’ – අපිට ටිකක් කතා කර කර ඉන්න පුලුවන් තැනක නවත්තනවද?”

වාහනේ නැවතුනේ වැව අයිනේ සිමෙන්ති බංකුවක් ලඟයි.

“මෙතන නවත්තන්න බෑ නේද?”

“බහින්නකෝ මහත්තයලා”

මාමත් මමයි ටුක් ටුක් එකෙන් බැහැලා බංකුවේ වාඩිවෙලා මයිකල්ටත් වාඩිවෙන්න කතා කලා. නමුත් වාඩිවුන මයිකල් ටුක් ටුක් එලවපු මයිකල්ට වැඩිය වයසයි, ඇඳගෙන හිටියේ ජීන්සුයි ටීශර්ටුයි වෙනුවට සරමකුයි කමිසෙකුයි. අනික ටුක් ටුක් එක පාරේ නෑ.

“කෝ මයිකල් වාහනේ? – මේ මයිකල් නේද?”

“මෙතන නවත්තන්න බෑ මහත්තයා”

ආයෙ ඒක ගැන ප්රශ්න අහන්න මට හිතුනෙ නෑ.

“ඉස්සරවෙලාම මට දැනගන්න ඕනෑ මයිකල් අපිට - ඒ කියන්නේ අපෙ පවුලේ ඔනෑම කෙනෙකුට - වැරැදක් … හිංසාවක් එහෙම කරන්න අදහසක් තියෙනවද?”

මං හිතුවේ වැදගත්ම ප්රශ්න පළමුවෙන් අහන එක හොඳයි කියලා.

“අප්පෝ නෑ මහත්තයා. මහත්තයා හිතුවේ මං මොන වගේ නැහැදිච්චි යකෙක් කියලද? මං කරන්නේ උදව්වක් උපකාරයක් මිස වෙන කිසිම දෙයක් නෙවෙයි. මේක විශ්වාස කරන්න ඕන”

“තරහගන්න ඕන නෑ - මම දැනගන්න ඇහුවේ. කියන්න එහෙනම් ඇයි ගමෙන් නුවරට ආවේ කියලා?”

“ගම පාලුයි - මිනිස්සු උදෑසීනයි, හරියට සේරටම නින්ද ගිහින් වගේ. නගරේ උපන් මට එහෙ ඉන්න එක අමාරුයි”

“එහෙනම් ඇයි එහෙ ගියේ? දැන් මාස ගානක් වෙනවා නේද?”

“ලොක්කන්ගෙ නීති - පලාතක් අරක්ගන්න ඉස්සර දුශ්කර පලාත්වල සේවය කරලා තියෙන්න ඕනලු!”

“කවුද ඔය කියන ලොක්කෝ? කාගෙද නීති? පිලිපැද්දෙ නැත්තම් ලැබෙන දඬුවම් මොනවද?... “

“මහත්තයා දෙයියන්ගෙ මූන දිහා බලලත් දෙයියෝ ගැන විශ්වාසයක් නැත්තම් දැකලා නැති ලොක්කොයි, තෙරුම්ගන්න බැරි නීතියි, අදහන්න බැරි දඬුවමුයි ගැන අහන්නේ මොකටද?”

පලවෙනි සැරේට මාමා කතා කලා.

“ඇයි ටුක් ටුක් එකක්?”

“ආන්න … ලොකු ඉස්කෝලේ මහත්තයට තේරෙනවා වැඩේ. ටවුමක ජීවිතේ ලොකුම හරස්කඩක් දකින්නේ වීල් එක. ඕනෑ පාරක්, සාප්පුවක්, කන බොන තැනක්, සූදු පොලක්, බයිස්කෝප් මඩුවක් දන්නේ කවුද? වීල් කාරයෝ! හැම තරාතිරමක මිනිස්සු කතා කරන්නේ කවුරු එක්කද? වීල් කාරයොත් එක්ක! වෙන කාටවත් නොකියන රහස් එහෙමත් කියන්නේ කාටද? ඉස්සර කවදාව හමුවෙලා නැති වීල් කාරයෙකුට! ඒ වගේම වීල් කාරයන්ටත් සේරම එකයි - ලොක්කෝ, සොච්චෝ, ගෑනු, පිරිමි, නාකියෝ, පොඩිඋන්….යාලුවෝ නෑදෑයෝ ඇත්තෝ නැත්තෝ… කිසි වෙනසක් නෑ. ටවුමේ සාරය පෙරලා ගන්න පුලුවන් රෝද තුනේ වාහනෙන් විතරයි මහත්තයා!”

“වාහනේ කතාව ඇත්ත. නමුත් කොහොමද මයිකල් මගෙ පවුල, පුතා, මාමා එහෙම හඳුනා ගත්තේ?”

“ඕක දෙවි කෙනෙක්ගෙන් අහන්න වටින ප්රශ්නයක්ද මහත්තයා? මනුස්සයෝ හිතන දේත් අහන්න පුලුවන් එකේ කීප දෙනෙක් හඳුනා ගන්න එක කජ්ජක්ද?”

අපෙ ප්රශ්න බොහොමයකට පිලිතුරු ලැබිලා ඉවරයි. ඒ කියන්නේ - අපිට කරදරයක් නෑ, අපිව හඳුනාගැනීම ප්රශ්නයක් වෙන්නෙ නෑ. තව එකයි තියෙන්නේ:

“මයිකල් කොච්චර කාලයක් ටුක් ටුක් එලවන්නද හිතාගෙන ඉන්නේ?”

“මට මාස හයකට සතියයි ලැබෙන්නේ එහෙ මෙහෙ යන්න. මගෙ සතිය හෙටින් ඉවරයි. එතකොට ආයෙත් ගමේ යනවා….. ආයෙත් නුවර පෙරහැර කාලෙටවත් එන්න බලන්න ඕනෑ!”

මයිකල් අපි ගෙදර ගෙනත් බැස්සුවා. අපි ගේ ඇතුලට ගියේ සැහැල්ලු හිතකින්. ටුක් ටුක් එකෙන් බැහැලා ගෙදරට ගොඩවුනාට පස්සෙයි මාමා ආයෙත් ඉස්සර වගේ හිනා වෙලා පුරුදු විදිහට කතා කරන්න පටන් ගත්තේ.